Monday, May 14, 2018

ආර්ථික සුනාමියක් අත ලගද ????

සාමාන්‍යයෙන් භූකම්පනයකින් පසු, ඇති වන්නේ පසු කම්පනයි. පසු කම්පන පෙර කම්පන වලට වඩා භයානකය. සුනාමිය ද එසේමය පළමු උදම් පහරට වඩා දෙවන උදම් පහරේ වියසනය දරුණුය.
සුනාමියෙන් බැට කෑවේ මුහුදු බඩ පළාත් වල උන් පමණකි. නමුත් වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින ආර්ථික සුනාමියෙන් බැට කන්නේ මුලු මහත් ශ්‍රී ලංකා වාසී සියල්ලෝය.


මම අද එනකොට අපේ ගමේ ආචිචි කෙනෙක් කියනවා "කිරි අප්පට බල්ලෝ පැනපි, පෙට්රෝල් මිල නග්ගළලු හිටං, එහෙනම් ලගදීම බඩු මිලත් නහුතෙට නගියි, බලාපල්ලකො මුන් ඔක්කොම ගහන්නේ පොඩි එකාගේ බඩටමයි නේ. තූ නොදකින් වේ-- බල්ලෝ "

ආචිචි කියන්නේ සැබැවකි පෙට්‍රල් මිල වැඩිවීම හරියට භූකම්පනයක පළමු කම්පනය වැනිය, නමුත් පෙට්‍රල් මිල වැඩි වූ පසු අනෙකුත් අත්‍යඅවශ්‍ය භාණ්ඩ වල මිල නියතවම වැඩි වනු ඇත. එබැවින් පෙට්‍රල් මිල වැඩි වීමේ පසු කම්පනයේ වේදනාව අපහට හරියටම දැනීමට තව ටික දොහක් යනු ඇත.
රටක භාණ්ඩ හා සේවා මිල අඛණ්ඩව වැඩි වීම ආර්ථික විද්‍යා අනුව උද්ධමනය උනත් අචිචිගේ වචනයෙන් නම් එය බඩු මිල නහුතෙට නැගීමකි.

* ලංකාවේ පෙට්‍රල් මිල වැඩි උනේ ඇයි?
* ආච්චි කියපූ විදියට පෙට්‍රල් මිල වැඩි වීම අනිවාර්යෙන් උද්ධමනයක් ආර්ථිකය තුල ඇති කරාවිද?
* හැම ආණ්ඩුවක්ම පොඩි මිනිහ කන අත්‍යවශ භාණ්ඩ වලම මිල වැඩි කරන්නේ ඇයි?
* ඇත්තටම ආණ්ඩුවට බැරිද ලෝක තෙල් මිල වැඩි වීමට අනුව තෙල් මිල වැඩි නොකර රජයට එම පාඩුව දරාගන්න?

ලංකාවේ පෙට්‍රල් මිලට මොකද උනේ .....
ලෝක වෙළෙඳපොළේ 2018 ජනවාරි සිට මේ වන විට බොර තෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වුව ද එහි බර ජනතාව මත පැටවීම වැළැක්වීමේ අරමුණෙන් ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය කටයුතු කර ඇත.
 
ඒ අනුව මෙතෙක් පෙට්‍රල් ලීටර් එකක් සඳහා අය කරන ලද රුපියල් 35 තීරු බද්ද රුපියල් 12 දක්වා ද, ලීටර් එකකට රුපියල් 15ක් වූ ඩීසල් මත වූ බද්ද රුපියල් 4 දක්වා ද අඩු කර ඇත.
 මෙම බදු අඩු කිරීමෙන් සිදුවන්න වූ පාඩුව රජය දරා ගනුයේ රජය විසින් සුබ සාධන සහ සංවර්ධන කටයුතු කරනු ලබන වියදම් මධ්‍යයේ ය.

2018 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 760ක මුදලක් වෙන් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් 70%ක් ම නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ආනයනය කරනු ලබයි. 2015 වන විට අමෙරිකානු ඩොලර් 49.49ක්ව තිබූ බොර තෙල් බැරලයක මිල 2017 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි විය.


2018 මාර්තු වන විට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී ඇති අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 70 උපරිමය දක්වා වැඩි වන ඇතැයි අනාවැකි පළ වී තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132.37 දක්වා මේ වන විට වැඩි වී ඇත. එමෙන් ම ඩීසල් ලීටර් එකක නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 135 දක්වා වැඩි වී ඇත. එසේ වුව ද එහි පාඩුව විඳදරා ගනිමින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ටත්, ඩීසල් ලීටරයක් රුපියල් 95ටත් 2015 වසරේ සිට මේ වෙන තෙක් අලෙවි කෙරේ.


ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන මිල ජාත්‍යන්තර මිල දර්ශක අනුව සැසැඳීමේ දී අඩු මිලට පාරිභෝගියන්ට ඉන්ධන අලෙවි කරනුයේ ශ්‍රී ලංකාවේ ය. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටර් එකක විකුණුම් මිල අමෙරිකානු ඩොලර් 0.75ක් වන අතර (රුපියල් 117ක්) ඉන්දියාව සහ සිංගප්පූරු වැනි රටවල පිළිවෙලින් එය අමෙරිකානු ඩොලර් 1.16 සහ 1.59ට විකුණනු ලබයි. එමෙන් ම ඩීසල් ලීටරයක විකුණුම් මිල ඇමෙරිකානු ඩොලර් 0.61ක් වුව ද (රුපියල් 95ක්) ඉන්දියාව හා සිංගප්පූරුවේ ඩීසල් ලීටර් එකක් විකුණනු ලබන්නේ පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1.01 සහ 1.18ක් වැනි මුදලකට ය.


2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 162 ක් විය. 2015 බලයට පත් වූ රජය ජනතාවට වූ පොරොන්දුව ඉටු කරමින් පෙට්‍රල් මිල රුපියල් 117 දක්වා අඩු කළේ ය. එමෙන් ම රුපියල් 111ක් ව පැවැති ඩීසල් ලීටර් එකක් 2015 වසරේ දී රුපියල් 95 දක්වා අඩු කරන ලදී. 2015 දී අඩු කරන ලද මිලටම ඉන්ධන මේ වන තෙක් අලෙවි කරනු ලැබූව ද ජාත්‍යන්තර තෙල් මිලෙහි අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වේ. 2017 වසරේදී බොරතෙල් මිල ගණන් යම් උච්චාවචනයකට ලක්වුව ද 2018 පළමු කාර්තුවේ සිටම බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගෙන තිබේ.


විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ගත් තීරණය හා ඉරානයට නව සම්බාධක පැනවීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම ප්‍රායෝගිකය.


ආචිගේ කියපූ විදියට පෙට්‍රල් මිල වැඩි වීම අනිවාර්යෙන් උද්ධමනයක් ආර්ථිකය තුල ඇති කරාවිද?

ඉතිරිය ඊළඟ ලිපියෙන් >>

No comments:

Post a Comment